සමබරතාවය කියාදෙන සරුංගලය

    සරුංගල් සමය දැන් එළඹ තිබේ. මේ කාලයට විමසිල්ලෙන් අහස බලන නාගරිකයකුට වුව, නිල් අහස් කුස සිඹිමින් ඉහළ නැගුණු වර්ණවත් සරුංගල් එකක් දෙකක් හෝ දැක ගන්නට බැරි කමක් නැත.වර්ෂයේ ඕනෑම කාලයක සරුංගලයක් අහසට යැවීමට ගුවන් තලය බාධාවක් නොවුණත් අවුරුද්දේ ජූලි- අගෝස්තු- සැප්තැම්බර් මාසවල පමණක් අහස් කුස සරුංගල් පිළිගැනීමට සැදී පැහැදී සිටින්නේ, අප රටේ මේ කාලවල හමන සුළං සරුංගලයට අහසට නගින්නට ලෙහෙසියෙන්ම පාර කපන නිසාය. ගොයම් කැපීමෙන් පසු හිස් වූ වෙල් නියරවල් දිගේ දුව යමින් සරුංගල් අහසට නග්ගන පුංචි එවුන් ඉන්නේද මේ කාලයේය. බටහිර රටවල වැඩිහිටියන් අතට ගිය සරුංගල් සංස්කෘතියක් සේම, වෙරළ ආශ්‍රිත සරුංගල් සංස්කෘතියක්ද ඇතත්, ලංකාවේ සරුංගල් තවමත් ඇත්තේ වෙල් නියරවල් ආශ්‍රිතව, පුංචි එවුන් අතේ පමණි.
    ඒ හින්දාම, අනාදිමත් කලෙක පටන්, කොටින්ම කිවහොත් ඉංග්‍රීසින්ගේ යුගයටත් එහා ගිය සරුංගල් ඉතිහාසයක් ලංකාවේ ඇතත්, තවමත් ලංකාවේ සරුංගල් සංස්කෘතියක් බිහිව ඇත්තේ නැත.
    ලංකාවේ සරුංගල් සංස්කෘතියක් නැති නිසාම, සරුංගල් ගැන වාර්තා චිත්‍රපටයකට ගන්නටවත් සරුංගල් ගැන ලියැවුණු කිසිවක් අපේ පුස්තකාල පීරාවත් හමුවන්නේ නැත.
    ඒ හින්දාම සරුංගල් පිළිබඳ ඉතිහාසය, ඇතැම් විට එකිනෙකාගේ මතවාද මතම දෝලනය වෙමින් තිබෙනු දැක ගන්නට තිබේ. තන්තිරිම‍ලේ පුරාණ ලෙන් විහාරයේ සෙල් ලිපියක තවමත් පුරා විද්‍යාඥයන් විසින් හඳුනා නොගත් සලකුණක් සරුංගලයක රූපයක් බවට තමන් සැක කරන බවට සරුංගල් ඉතිහාසය ගැන සොයා අත්දැකීම් ඇති 'කයිට්ස් ශ්‍රී ලංකා සංවිධානය' පවසයි. විජයගේ ඉතිහාසයටත් එහා ඉතිහාසයක සඳහන් වන රාවණා රජු දඬුමොණරය තනන්ට ආදර්ශය ලබාගෙන ඇත්තේ සරුංගලයකින් බවට අදටත් ඇතැම්හු පවසති. (මේ අදහස් දෙකම විවාධාපන්නය)
    ලංකාවේ සරුංගල් සම්බන්ධ මෑත ඉතිහාසයේ, අද ඉන්නා වැඩිහිටියන්ටත් මතක ඇති අපූරු සිද්ධියක්ද ඇතැයි අසන්නට තිබේ. මෙය සිදුව ඇතැයි කියන්නේ හැට හැත්තෑව කාලයේය. ඒ කාලයේ මොරටුව, අගුලාන ප්‍රදේශයෙන් අහසට නැග්ගූ විශාල සරුංගලයක බල්ලකුද අහසට යවා තිබේ. සරුංගලයක් ගාවා ගෙන සිදුකළ බලුවැඩේ ඒ කාලයේ මිනිසුන් අතර වඩාත් කතාබහට ලක්වූ සිද්ධියක් විණැයිද කයිට්ස් ශ්‍රී ලංකා සංවිධානය කියයි.
    එහෙත් කතාබහට ලක්වුණු 'බලුවැඩේ' සරුංගලයක් සේ සැහැල්ලු සිත් ඇති පුංචි එවුන් කළාද, වැඩිහිටියන් විසින් සිදුකළාද කියන්නට දන්නා වැඩිහිටියකු මට සොයා ගන්නට බැරි විය.
    ඊටත් එහා ඉතිහාසයේ හැට ගණන්වල, දවස පත්තරය මගින් සංවිධානය කළ සරුංගල් සැණකෙළියක් ලංකාවේ පවත්වා තිබේ.තවමත් ලංකාවේ ගමේත් නගරයේත් පුංචි එවුන් අත තිබෙන සරුංගලයක් කලාතුරකින් වැඩිහිටියකු අත පත්වන්නේ එසේ සරුංගල් තරගයක් හෝ සැණකෙළියක් තිබෙන අවස්ථාවකදී පමණි.
    එහෙත් ලංකාවේ වාර්ෂික සරුංගල් සැණකෙළි ඉතිහාසය නම් ඉන් බොහෝ මෑතක තිබෙන බව දැන ගන්නට තිබේ. ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන සරුංගල් සැණකෙළියක් ලංකාවේ මුල්ම වතාවට පැවැත්වුණේ තමන්ගේ මැදිහත් වීමෙන් 2008 වසරේ පටන් බව කයිට්ස් ශ්‍රී ලංකා සංවිධානය පවසයි. මුල් වතාවට පැවැත්වුණු සරුංගල්  සැණකෙළියේ පටන් තවමත් නොකඩවා එම සංවිධානය විසින් වාර්ෂිකව සරුංගල් සැණකෙළි පවත්වා ගෙන එනු ලබන බවත් දැන ගන්නට තිබේ. මේ වතාවේ සරුංගල් සැණකෙළිය, 30, 31 දිනවල මීගමු වෙරළ තීරයේදී පැවැත්වීමටද දැන් කටයුතු සූදානම්ය. සරුංගල් ගැන යටපත්ව තිබූ අපගේ උදේ‍යා්ගය යළි මතුව එන්නේද, කයිට්ස් ශ්‍රී ලංකා නිසාය.
    “ලංකාවේ සරුංගල් තවමත් තියෙන්නෙ ළමයින් අතර පමණයි. සරුංගලය විනෝදාස්වාදය ලබන්න, සහයෝගයෙන් ගනුදෙනු කරන්න ළමයින් විතරක් ‍නෙවෙයි    වැඩිහිටියන්වත් පුරුදු කරන දෙයක්. ඉස්සර හැම ළමයෙක්ම වගේ සරුංගලයක් හදන්න දැන ගෙන හිටියා. සරුංගලයක් හදන එක ළමයින්ට අත්වැඩ පුරුදු වෙන්නත් හොඳ දෙයක්. ඒ නැතත් ඉස්සර හැම ළමයෙක්ම සරුංගලයක් යවලා හරි තිබුණා. සරුංගලයක් හදල අහසට යවද්දී දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඒක ළමයින්ට වැඩිහිටියන්ට හැමෝටම ‍පොදුයි. අද වෙනකොට අවාසනාවකට සරුංගලයක් හදන්න දන්න ළමයි ඉන්නෙ සුළු පිරිසක්. ඒ වගේම වැඩි දෙනෙක් ඉන්නවා කවදාවත් සරුංගලයක් යවලා නැති අය. සමහර පැතිවලින් අපට හම්බ වුණා සරුංගලයක් ඇහැටවත් දැකලා නැති   ළමයි”
    කයිට්ස් ශ්‍රී ලංකා සංවිධානයේ ‍ලේකම්වරයා තේජිත එදිරිසිංහ කියයි.
    නාගරික ළමයින් නම් සරුංගල් හදන්නට නොදන්නේ මේ වන විට බහුලව අලෙවි වන පිටරටින් ගෙන්වන සරුංගල් නිසාය. මේ සරුංගලයක් දැන් දැන් රුපියල් එකසිය පනහක් වැනි මුදලකට ගෝල්ෆේස්, මීගමු වැනි වෙරළ තීරයන්හි බහුලව අලෙවි වෙයි.
    අපේ අසල්වැසි රට වන ඉන්දියාවේද සරුංගල් පිළිබඳ උදේ‍යා්ගය වැඩිහිටියන්ද, පුංචි එවුන්ද කියා වෙනසක් නොමැතිව මතුවෙමින් තිබෙද්දී, සරුංගල් පිළිබඳ අපේ උදේ‍යා්ගය සරුංගලයක් අහසට නග්ගන්නේ නැතිවම ගෙවුණු වැඩිහිටි වියට එළඹීමේ කාලය අතර වියැකී ගොස් තිබේ. ඒ කාලය තුළ අහස සිඹින සරුංගලයක වුවත්, අප කුඩා වියේ සරුංගලයක දුටු ලස්සන තිබුණේදැයි සැකය. සරුංගලයක් මෙන් සැහැල්ලු සිත් ඇති පුංචි එවුන් සරුංගලයක ලස්සන දකිද්දී, දැන් වැඩිහිටි හිත්වලට සරුංගලයක බර දැනෙන්නේ නැත.
    එහෙත් ලෝක සරුංගල් ඉතිහාසය පීරා සොයද්දී, දක්නට ලැබෙන්නේ ඉතිහාසගත වැඩිහිටියන් විසින් සැහැල්ලු සරුංගලය එහි වටිනාකමෙන් බර වැඩි කළ හැටිය.
    සරුංගලයක් සැරි සරන්නේ නැති ඉහළ අහසේ සිට ‍පොළව දක්වා ඇදී එන අකුණක විදුලිය තිබේදැයි බලන්නට එක්දහස් හත්සිය ගණන්වල බෙන්ජමින් ප්‍රෑන්ක්ලින් නම් විද්‍යාඥයා මුලින්ම අහසට යවා ඇත්තේ සරුංගලයකි. එක්දහස් අටසිය ගණන්වල ගුවන්යානය තැනූ රයිට් සහෝදරයන් විසින් අහසට නැග්ගූ මූලික සැකිල්ලද සරුංගලයකි. ලෝක යුද සමයේ සතුුරු සේනාවන්හි ඔත්තු බැලීමේ කටයුතු සඳහා යොදා ගැනුණේද සරුංගලයකි.
    එසේ වුවත්, සරුංගලයේ ස්වර්ණමය යුගය ලෙස ඉතිහාසය හඳුන්වන්නේ එහි මූලික ආකෘතිය, හැඩරුව හා මෝස්තර බරපතළ ලෙසින් වෙනස්කම්වලට බඳුන් වූ එක්දහස් අටසිය හැට ගණන්වල සිට එක්දහස් නවසිය දහය දක්වා කාලයයි.
    එයින් පසු අද වන විට ලෝකයේ බොහෝ රටවල සරුංගල් සංස්කෘතියක් දක්වා වර්ධනය වී තිබේ. ඉන්දියාවේ මකර් සංක්‍රාන්ති නම් සරුංගල් යැවීමේ උත්සවය වසරක් පාසා පැවැත්වෙන සාම්ප්‍රදායික උත්සවයක් වද්දී, බටහිර රටවල එය ක්‍රීඩාවක් දක්වාද වර්ධනය වී තිබේ.
    “සරුංගල් යැවීම ලංකාවේ තවමත් ක්‍රීඩාවක් විදිහට කෙරනේනෙ නැහැ. ඒත් පිටරටවල කයිට් සර්ෆින්, කයිට් ෆයිටින් වැනි තරග පවා පැවැත්වෙනවා.” කයිට් ශ්‍රී ලංකා පවසයි. කයිට් සර්ෆින් යනු අහසට යැවුණු සරුංගලයක එල්ලී, සිදු කරන දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවයි. කයිට් ෆයිටින් නම්, සරුංගල් මාට්ටු දැමීමයි. ක්‍රීඩාවක් ලෙසින් තවමත් අපට නුහුරු වුවද, සරුංගල් කිහිපයක් සැරිසරන තැනක මේ මාට්ටු දැමීම අදටත් සිදු වේ.  කුඩා කළ සරුංගල් යවද්දී, මේ 'කයිට් ෆයිටින්' ලෙසින් අප කළේ බ්‍ලේඩ් තල කුඩාවට කඩා නයිලෝන් නූල් ‍පොට අතරට තබා සරුංගලයට නූල් දීමය. ඝනකමින් වැඩි නයිලෝන් නූලක් දිගේ අහසට නැගුණු සරුංගලයක් වුවත්, මේ ෙකෙරාටික බ්‍ලේඩ් තල උපක්‍රමයෙන් කැපී යයි. එවැනි විටක, නූල කැඩුණු සරුංගලය දිව යන අත ඔස්සේ දුවගොස් අයිතිකරුවන්ට පෙර එය ඩැහැ ගැනීම අරමුණයි. කුඩාකමට සිදු කරන මේ ක්‍රියාවම කයිට් ෆයිටින් ක්‍රීඩාවක් ලෙසින් සිදු කරන විදේශිකයින් විසින්ද කරන බව ඒ ගැන විමසද්දී, දැන ගන්නට ලැබිණි. එහෙත් මෙරට සරුංගල් සම්බන්ධ වැඩිහිටි උදේ‍යා්ගය බරපතළ ලෙස ගිලිහී ගොස් ඇති නිසාම, සරුංගල් ක්‍රීඩාවක් දක්වා වර්ධනය වී නැත.
    අපගේ උදේ‍යා්ගයෙන් ගිලිහී ගිය කාලය තුළ සරුංගල් මූලික හැඩතලවලින් බොහෝ සේ දියුණු වී තිබේ. කුඩා කල පටන් දන්නා වවුලා, මොණරා, කවුඩා, මාළුවා හා නයා සරුංගල් අතරම, දැන් මිනිසකුගේ හෝ ගැහැනියකගේ හෝ කුඩයක, හැඩැති සරුංගලයක් දක්නට තිබේ. තවත් විටෙක මකුළුවකුගේ, කැර‍පොත්තකුගේ නැත්නම් ඉස්සකුගේ හැඩයේ සරුංගලයක් දකින්නට පුළුවන. එසේත් නැත්නම්, අද පුංචි එවුන්ගේ වීරයන් වූ සුපර් මෑන්ලා, බැට් මෑන්ලාද සරුංගලයකින් දකින්නට පුළුවන.
    මේ වෙනස්කම් අතරේ වසර ගණනක් තිස්සේම, තවමත් සව් කොළ මෝස්තරයද වෙනස් නොවී පවතින එකම සරුංගලය නම් කොම්බුවය. වවුල් සරුංගලයේම පසු කොටස ඊට වඩා දිගින් වැඩිවන සේ තැනෙන කොම්බුව අප කුඩා කාලයේද සව්කොළ යොදා අලවා ගත්තේ රතු, සුදු සහ නිල් වර්ණයන්ගෙන් යුත් ඉංග්‍රීසි කොඩියේ මෝස්තරයටය. බොහෝ අවස්ථාවල යටත් විජිත ලක්ෂණ සඟවන්නට තැත් කරමින් වුවද, අප තවමත් 'කොම්බුවට' අලවා අහසට නග්ගන්නේ මේ ඉංග්‍රීසි කොඩියම වී තිබේ. ඉංග්‍රීසි කොඩිය සේ, සිංහල මහ ජාතිය හා අන්‍ය ජාතිකයින් සිහි කරන අපේ ජාතික කොඩිය සරුංගලයක අලවා අහසට නග්ගවා තිබෙන අවස්ථා නම් විරලය. ඒ නිසා එය තමන්ගේ යටත්විජිත ලක්ෂණ අමතක කර දමන්නට ඉක්මන් ඕනෑකමක් ඇති ජාතියකට, සිය ප්‍රතාපවත් බව පෙන්වන්නට ඉංග්‍රීසින් විසින් ඉතා ඕනෑකමින් ඉතිරි කර ගිය ලකුණක්ද ලෙසින් යමකුට ගිනිය හැකිය.
    තවමත් ඉංග්‍රීසි කොඩිය අහසට නග්ගන්නේ ඇයි දැයි මම, ලංකාව පුරා සරුංගල් වැඩමුළු පවත්වා ඇති, සරුංගල් පිළිබඳ වාර්තා චිත්‍රපට තනා ඇති, කයිට්ස් ශ්‍රී ලංකා සංවිධානයෙන් විමසුවෙමි. එහි ‍ලේකම් තේජිත එදිරිසිංහ පැවසුවේ දැන් ඉංග්‍රීසි කොඩිය සරුංගලයේ ඇලවෙන්නේ සරුංගල් යවන උදවියගේත් හදන උදවියගේත් නොදන්නාකම නිසා වන්නට පුළුවන් බවයි. ඔහු කියනා හැටියට දැන් වැඩිදෙනෙක් සරුංගලයේ මේ ඉංග්‍රීසි කොඩිය දකින්නේ අනාදිමත් කලෙක පටන් එය කොම්බුවට අලවන සව්කොළ මෝස්තරයක් ලෙසින් පමණි.
    සුද්දන්ගේ කාලයේ සරුංගල් ඉතිහාසය ගැන විමසන්නට ඉංග්‍රීසි කොඩිය ඇලවුණු කොම්බුව හොඳ සලකුණකි.
    දැන ගන්නට ලැබෙන්නේ ඉංග්‍රීසින්ගේ සමයේ ඇතැම් රාජ්‍ය උත්සව අවස්ථාවන්හිදී ඒ සරුංගල් කොළඹ අහසෙන් ඉහළට නැගුණු බවයි. කොම්බුවේ සරුංග‍ලේ තවමත් ඉතිරිව ඇති කුහුල දනවන ඉංග්‍රීසි කොඩිය ඉන් ශේෂව සමාජගත වූවකි.
    මේ සරුංගල් නම් දැන් දැන් ජාතීන් අතර සමගිය නංවන්නට යොදා ගැනෙන, හොඳ සංකේතයක් ලෙසින් ගිනිය හැක්කක්ද වෙයි. ලංකාවේ ජාතීන් අතර සමගිය නැංවීමේ අරමුණින් ජනාධිපතිවරයා ඊයෙ පෙරේදා දිනක ගාලුමුවදොර වෙරළ තීරයෙන් සරුංගලයක් අහසට නංවද්දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදිද, ඒ අරමුණින්ම සරුංගලයක් දිල්ලියෙන් අහසට යැව්වේ ය.
    “සරුංගලයක් හැදීම එක ජාතියකට වයස් කාණ්ඩයකට සීමා වෙන දෙයක් ‍නෙවෙයි. සරුංගලයක් හදද්දී අපි හැම ජාතියක්ම නියෝජනය කරන වර්ණ භාවිත කරනවා. සියලුම වර්ණ සරුංගලයකදී අපි පාවිච්චි කරනවා. ඒ නිසා ඇත්තටම සරුංගලය සාමයේ සංකේතයක් හැටියටත් පාවිච්චි කරන්න පුළුවන්”
    කයිට්ස් ශ්‍රී ලංකා සංවිධානයේ අදහස එයයි.
    උතුරේ දකුණේ කෙසේ වෙතත් අලුත්ගමත් ගැටුම් ඇවිළුණු ලංකාවේ වෙඩි වැදුණු පරවියා වෙනුවට, ඊළඟ සාමයේ සංකේතය සරුංගලයදැයි සැක හිතෙන්නේ, මෑතක පටන් ජාතීන් අතර සහයෝගිතාව අරමුණු කර පැවැත්වුණු සරුංගල් සම්බන්ධ ක්‍රියාකාරකම් නිසාය. එමෙන්ම ප්‍රාදේශීය මට්ට්මෙන් පැවැත්වෙන සරුංගල් උත්සව හා තරග නිසාය.
    ආසන්න වශයෙන් පසුගිය මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවත්වුණු ජාතික භාෂා ඒකාබද්ධතා සතිය නිමිති කර ජාතික මට්ටමෙන් ලංකාවේ ස්ථාන 9 ක සරුංගල් වැඩමුළු පැවැත්විණි. 19 වැනිදා ගාලු මුවදොර ඇතුළුව ලංකාවේ ස්ථාන හතකදී, සරුංගල් සිය ගණනක් අහසට නැංවිණි. මේ මස 30, 31 මීගමු වෙරළ තීරයෙන්ද එසේ සරුංගල් අහසට නැංවෙන්නේ එම ක්‍රියාදාමයෙහිම කොටසක් ලෙසිනි. මේ කටයුත්ත කයිට්ස් ශ්‍රී ලංකා හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව සිදු කරන්නකි.
    අහසට යැවෙන මේ සරුංගල් මෝස්තර හා හැඩරුව අතින් බලද්දී, ලංකාව පුරා ප්‍රදේශයෙන් ප්‍රදේශයට බරපතළ වෙනස්කම් නැතත් කපුටු හැඩයේ සරුංගල් මොරටුවට ආවේණික ඒවා බව දැන ගන්නට තිබේ. ඒ හැරුණු විට කලෙකට ඉහත යාපනයේ සරුංගල්ද ඒ ප්‍රදේශයටම ආවේණික ලක්ෂණ කැටි කර ගනිමින් අහසට නැගුණු ඒවා බවට අසන්නට තිබේ.  
    හැට හැත්තෑව ගණන්වල උතුරේ ඇතැම් සරුංගල් අහස සිඹින්නට පටන්ගෙන තිබුණේ විදුලි බල්බයෙන් හා  නා නා විධ ශබ්දයෙන්ද අලංකෘතවය. ඒ අතරෙහි දකුණේ සරුංගල්වලට වඩා විශාල ලෙසින් තැනුණු ඒවා ගැනද අසන්නට තිබේ. අඩි හතළිහක් හැටක් දිග සරුංගල් ගැන අසන්නට ඇත්තේද උතුරින් මිස දකුණෙන් නොවේ.
    කාලය සියල්ල වෙනස් කර තිබේ.
    කලෙකදී යාපනයෙන් ඉහළ නැගුණු සරුංගල්වල නූල් ගිලිහී යද්දී, සරුංගල් තැනුණු දෑත් වඩාත් ආක්‍රමණශීලී දෑ තන්නට හුරු විණි. උතුරු අහසේ සැහැල්ලු ලෙසින් ඔහේ පාවෙන සරුංගල් තැනුණු අත්වලින්ම සතුරු ඉලක්ක කරා යන සැහැල්ලු ගුවන් යානා තැනුණි. උඩු ගුවනේ දඟ කරන සරුංග‍ලේ වරල් සැලෙද්දී, සතුටින් ඉපිල ගිය හදවත්ම, අනෙකාගේ ජීවිත ගොදුරු කර ගැනීමේ බරින් පෙළුණේය.
    යාපනයේ ළමයින් වැඩිහිටියන් බවට පත්ව තිබුණේ එසේ ගතවුණු තිස් අවුරුද්දකට වැඩි කාලය තුළය. ඒ හින්දා දැන් යාපනයේ ළමයින්වත්, වැඩිහිටියන්ගෙන් වැඩිදෙනෙකුවත් සරුංගල් ගැන දන්නේ නැත.

    -------------------------------------------------------------

    Paid advertisement -

    තෙල් සව්කොළ වලින් අලවා නිම කර ඇති ඉතාමත් අලංකාර සරුංගලයක් අඩුම මුදලට

    බටු වවුලන් (2 feet) 100/=
    කොම්බුවන් පොඩි(3 feet)200/=
    මොණරුන් පොඩි(3 feet)200/=
    කඩුඩන් පොඩි(3 feet)200/=

    කොම්බුවන් ලොකු(5 feet)400/=
    මොණරුන් ලොකු( 5 feet)400/=
    කඩුඩන් ලොකු( 5 feet)400/=

    මහර-කඩවත

    mobi 0717 355 927

     

    Add comment

    ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
    ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


    Security code
    Refresh

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.