සිය දිවි නසා ගැනීම් සමූල ඝාතන පිටු දැකීමට නම්

    තාක්ෂණික දියුණුවත් සමග විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල ව්‍යාප්තිය බහුල ලෙස සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඕනෑම ආරංචියක් ඉතා ඉක්මනින් සමාජගත වීමද සිදුවෙයි. එය තාක්ෂණික දියුණුවේ සාධනීය පසුබිමකි. එම හේතුවෙන් මිනිසුන් අතර හුදෙකලා වීමක් නොමැතිව විවිධ රටවල ජනයා විදින සතුට සැනසුම මෙන්ම දුක් දොම්නස් සන්තාප ආදිය ඉක්මනින් දැනගැනීමට හැකියාව ලැබෙයි. ප්‍රචාරණ මාධ්‍යයේ දියුණුව ලෝකයට ඉතා යහපත්ය. නමුත් එහි විපත්තිකර පැත්තද හොඳින් අධ්‍යයනය කළ යුතුය.

    වර්තමානය වන විට ලෝකයේ ප්‍රචණ්ඩත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් අපට දක්නට ලැබේ. ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ප්‍රචාරණයත් එයට එක් හේතුවක් බව අපට පැහැදිලි වෙයි.විශේෂයෙන්ම ලංකාවේ වර්තමාන සමාජය අධ්‍යයනය කිරීමේදී අපට පෙනී යන එක් කරුණක් වන්නේ මෙයට දසක කිහිපයකට පෙර ජීවත්වූ මිනිසුන්ට වඩා අද ජීවත්වන මිනිසා තුළ ප්‍රචණ්ඩත්වය වර්නධනය වී ඇති බවයි. ඒ හේතුවෙන් සමූහ මිනිස් ඝාතන, පලිගැනීම්, මංකොල්ල කෑම්, සියදිවි නසා ගැනීම්, බියවැද්දීම්, චරිත ඝාතනය කිරීම් ආදිය ඉහළ ගොස් ඇත.
    මෙවැනි කටයුතුවලට මිනිසා නොබියව, නිර්ලජ්ජිතව යොමුවන්නේ කුමක් නිසා දැයි යන සාධක පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ යුතුය.
    එහිදී අපට පැහැදිලි වන එක් කරුණක් වන්නේ ආධ්‍යාත්ම සංවර්ධනය පරයා භෞතික සංවර්ධනය පෙරට ඒමයි. යම් රටක භෞතික සංවර්ධනයක් සිදුවන්නේ නම් අපි එයට කිසිසේත්ම විරුද්ධ නොවෙමු. සෑම රටක්ම, ගමක්ම භෞතික වශයෙන් සංවර්ධනය වීම අත්‍යවශ්‍ය කාරණයකි. නමුත් අප මෙහිදී අවධාරණය කරන්නේ එයට පෙර අධ්‍යාත්මය සංවර්ධනය කළ යුතු බවයි.
    මිනිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට බලපාන කරුණු රැසක් පවතියි. විශේෂයෙන්ම මිනිසුන් තුළ ප්‍රචණ්ඩකාරී, ප්‍රකෝපකාරී සිතුවිලි හට ගැනීමට සහ වැරැද්දට යොමු වන්නේ ප්‍රපංච ධර්ම නිසාය.
    ප්‍රපංච ධර්ම ලෙස හඳුන්වන්නේ මිනිසා වැරදි අරමුණුවලට යොමු කරන ධර්මයෝය.

    චක්ඛු ආයතනය
    සෝත ආයතනය
    ඝාන ආයතනය
    ජීව්හා ආයතනය
    කාය ආයතනය
    මන ආයතනය

    මෙම ආයතන ආධ්‍යාත්මික ආයතන ලෙස හඳුන්වයි. මෙම ආයතනවලට ග්‍රහණය වන අරමුණු හේතුවෙන් මිනිසාගේ ප්‍රචණ්ඩකාරී ස්වභාවය උද්දීපනය වෙයි.
    චක්ඛු ආයතනය හෙවත් ඇසට ගෝචර වන්නේ රූපයයි. මිනිසා සතුව පවතින කාමය, රාගය, කෝපය, ඇවිස්සීමට, රූපයට හැකියාව ලැබෙයි. අද වන විට බොහෝ විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල අඩ නිරුවත්, නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන සංසරණය වෙයි. එම අසභ්‍ය දර්ශන නැරඹීමේ විපාක ලෙස රාගය උත්සන්න වෙයි.
    රාගය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ කාම අපරාධ රැල්ල වැඩිවීමයි. රාගයෙන් රත්වූ පුද්ගලයාගේ ලජ්ජාව, බය දුරුවී යයි. ලජ්ජාව බය සිඳුණු තැනැත්තාට කළ නොහැකි පාප කර්මයක් නොමැත. කාමයෙන්, රාගයෙන් උමතු වූ පුද්ගලයා කෙසේ හෝ තම සිතුවිලි සන්තර්පණය කරගැනීමට උත්සාහ දරයි. එහි ප්‍රතිඵලයක් ලෙස මිනීමැරුම් සිදුවන ඉඩකඩ වැඩිය.
    සෝත ආයතනය ලෙස හඳුන්වන්නේ කනය. කර්ණේන්ද්‍රිය මිනිස් සිරුරේ ඇති වටිනා ඉන්ද්‍රියකි. මිනිස් ජීවිතයේ සාර්ථකත්වයට ශ්‍රවණය හෙවත් ඇසීම ඉතා ප්‍රයෝජනවත් වෙයි. ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට, ප්‍රඥාව වර්ධනය කරගැනීමට නම් ඇසීම අනිවාර්ය අංගයකි.
    බහුශ්‍රැත පුද්ගලයා ලෙස හඳුන්වන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තාය. ආලවක යක්ෂයා
    එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසීය. කථංසු ලාභතේ පඤ්ඤං එනම් ප්‍රඥාව ලබන්නේ කෙසේද එයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ සුස්සුසා ලභතේ පඤ්ඤං ඇසීමෙන් ප්‍රඥාව ලැබෙයි. නමුත් අද අපට ඇසෙන බොහෝ දේවල් නිරර්ථක හුදු වචන පමණි. ගීතයක් වුවත් කවියක් වුවත් සිනමා පටයක්, දේශනයක් වුවත් අර්ථ රහිතය. හිස් වචන ගොඩක් පමණි. එවැනි ගීත ආදිය ඇසෙනවිට සිදුවන්නේ භාව උද්දීපනය වීම නොවේ. භාව ප්‍රකෝප වීම පමණි. ප්‍රචණ්ඩකාරී හැඟීම් ඉස්මතු වීමෙන් සිදුවන්නේ මිනිසා අයහපතට යොමුවීම පමණි. දුරදිග නොබලා නුවණින් විමසා නොබලා ආවේගී සිතුවිලිවලට මිනිසා යටපත් වන්නේ එහි අනිටු ප්‍රතිඵලයක් ලෙසය.
    බාහිර අරමුණු හේතුවෙන් ප්‍රකෝප වන අභ්‍යන්තරය පාලනය කරගැනීමට යෝග්‍ය ක්‍රම පහක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඒවා නම්,
    * අඤ්ඤ නිමිත්ත - සිතෙහි යම් අකුසල් සිතුවිල්ලක් ඇතිවන විට එය මගහැරී සිත වෙනත් අරමුණකට යොමු කිරීම.
    * ආදීනව නිමිත්ත - අකුසල් සිතුවිල්ල පැමිණි විට එය ක්‍රියාත්මක කළ විට ලැබෙන විපාක පිළිබඳව මෙනෙහි කිරීම.
    * අසති අමනසිකාර නිමිත්ත - අකුසල විතර්ක පිළිබඳ සිහිනොකිරීම.
    * විතක්ක මූල බේද - විතර්කය ඇතිවන මූලයන් මෙනෙහි කිරීම.
    * අභිනිග්ගණ්හන නිමිත්ත - කුසල සිතින් අකුසල සිත් පාලනය කිරීම.
    බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ මෙම ධර්ම කරුණු යමෙක් පිළිපදින්නේ නම් ප්‍රචණ්ඩකාරී සිතුවිලි නිසි ලෙස කළමනාකරණය කොටගත හැක. යමෙක් තම කෝපය, ආවේගය ආදී අගතිගාමී සිතුවිලි නිසි ලෙස කළමනාකරණය කරගන්නේ නම් සියදිවි නසා ගැනීම්, සමූල ඝාතන, පලිගැනීම්, චරිත ඝාතන කිරීම් ආදිය සිදුනොවන්නේය. මෙයින් පැහැදිලි වන්නේ කෝපය සතුරෙකි. මෝහය සතුරෙකි යන්න නොවේද?

    සාකච්ඡාව - රංජිත් කුමාර චන්ද්‍රසේකර
    රත්මලාන ධර්ම
    පර්යේෂණාලයේ අධ්‍යක්ෂ
    හෑගොඩ විපස්සි හිමි

    Add comment

    ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
    ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


    Security code
    Refresh

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.