කෙටි පණිවුඩ යැවීමේ පුරෝගාමියා සමුගනී

    ජංගම දුරකථන හරහා එස්.එම්.එස්. හෙවත් කෙටි පණිවුඩ යැවීමේ ක්‍රමවේදය ලොවට කියා දුන් මැටි මැකෝනන් ජුනි 26 සිකුරාදා මියගිය බැව් වාර්තා වේ. බරපතළ රෝගී තත්ත්වයක් හේතුවෙන් මළ බව පැවසෙන ඔහු මියයන විට අවු. 63කි. හේ ෆින්ලන්ත ජාතිකයෙකි. කෙටි පණිවුඩ සේවාවේ පියා ලෙස හඳුන්වනු ලැබුවද මැකෝනන් කිසි විටෙක එම ගෞරවය තනිවම භාර ගැනීමට කැමති නොවීය. ඔහු නිතරම පැවසුවේ තාක්ෂණය නිපදවූයේ තමන් තනියම නොවන බවයි. සාමූහික ප්‍රයත්නයක් වන මේ සොයා ගැනීම ප්‍රචලිත කිරීමට උපකාර වූයේ Nokia  සමාගමේ ජංගම දුරකථන බවද ඔහු කියා ඇත.
    මැකෝනන්ගේ චරිතයේ ඇති අපූර්වත්වය වන්නේ මේ මහඟු අකුරු පණිවුඩ ක්‍රමය ලොවට කියාදුන්නද ඔහු එය භාවිතා නොකිරීමයි. එය භාෂාවේ සංවර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකියැයි ඔහු කල්පනා කරයි. තමන් භාවිත නොකළද යම් ලෙසකින් සදහටම එය පවතිනු ඇතැයි ඔහු සිතන බව කියා ඇත. දැනට ලොව පුරා කොපමණ පිරිසක් කෙටි පණිවුඩ සේවාව ඔස්සේ සන්නිවේදනයේ යෙදුණත් එහි නිර්මාතෘ සදහටම නිහඬව ඇතැයි දැන නොසිටිනවා විය හැකිය. ඔහු වෙනුවෙන් කෘතවේදී වදනක් හෝ අපට නොඇසුණේ එනිසා විය යුතුය.

    All the content on this website is copyright protected. http://www.teclanka.info. | © 2017- teclanka.info

    Please publish modules in offcanvas position.